අප පිළිබඳ ...


ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා..!!

භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහාබෝධි මූලයේදී ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තා වූ, තුන් ලෝක සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුනා වූ, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මාසයකට පසු, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රථම ධර්ම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ ද ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සත් මාසයක් මුළුල්ලේ සංගායනා කරන්නට යෙදුනා වූ අසූ හාරදහසක් වූ ධර්මස්කන්ධය, ත්‍රිපිටකය යි.

විනයධර ධර්මධර මහා සංඝරත්නය විසින් කට පාඩමින් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය වසර දොළහක් පමණ කාලයක් ලක්දිව වෙලාගෙන පැවති බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂ කාලයකදී වුවද මහා සංඝරත්නය විසින් ජීවිත පරිත්‍යාගයෙන් දරාගෙන සිට දුර්භික්ෂය පහව ගිය කල්හි එලෙස දරාගෙන සිටි සද්ධර්මය කිසිඳු වෙනසකට භාජනය වී නොමැති බවත් මනාව තහවුරු කරගත්තාහුය. එම ව්‍යවසනයෙන් බුද්ධ ශාසනයට බලපෑමක් එල්ලවීම නිසා එතෙක් කල් කට පාඩමින් රැගෙන ආ සද්ධර්මය ආරක්ෂා කරගනු වස් ධර්ම සංගායනාවක් පැවැත්වීමටත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමටත් මහා සංඝරත්නය තීරණය කළහ.

එම තීරණයෙන් පසු එකල ලක්දිව පාලනය කළ වළගම්බා රජතුමාගේ අනුග්‍රහයද ඇතිව මාතලේ අළුලෙන් විහාර පරිශ්‍රයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්ති උළෙල මූලික කරගෙන එතෙක් කල් පාලි භාෂාවෙන් ලියවී තිබුන ත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ බාරදූර කාර්යය එවකට වැඩ සිටි වැලිවිට සෝරත, බළන්ගොඩ ආනන්ද මෛත්‍රී වැනි මහා තෙරුන්වහන්සේලා වෙත පැවරිණි. ධර්ම පොත් පනස් හතකින් සමන්විත ත්‍රිපිටකය සම්පුර්ණයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට වසර තිස් දෙකක් ගත විය. මෙම පරිවර්තනය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ලෙස හඳුන්වයි.

සසර දුක් ගිනි නිවීම පිණිස ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ, මෙලෙස සිංහල භාෂාවට පරිවර්තනය කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව යුනිකේතයට (යුනිකෝඩ්) හරවා උතුම් වූ ධර්ම දානයක් ලෙස සදහම් පිපාසාවෙන් සිටින සියළුම දෙනාගේ හිත සුව පිණිස අන්තර්ජාලයට එකතු කිරීම අපගේ පරම චේතනාවයි. සූත්‍ර ධර්ම දේශනා ඉතා පහසුවෙන් මෙය තුලින් සොයාගත හැකි අතර මෙය සූත්‍ර නාමාවලියකින්ද යුක්තය.

මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!


පුණ්‍යානුමෝදනාව

සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියළු දාන අතුරින් ධර්ම දානය අග්‍ර වේ.


ජීවිත පරදුවට තබා බොහෝ කාලයක් ශ්‍රී සද්ධර්මය කටපාඩමින් රැගෙන ආ මහා සංඝරත්නයටත්, විවිධ වකවානු වලදී ශ්‍රී සද්ධර්මයේ චිරස්ථිතියට ඇති වූ බලපෑම් දුරු කිරීමට ධර්ම සංගායනාවන් පවත්වා සම්බුද්ධ ශාසනය නගාසිටුවීමට කටයුතු කල මහා සංඝරත්නයටත්, ඒ ඒ අවස්ථාවන් හිදී රාජ්‍ය මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් උපකාර කල සෑම සියලු දෙනාටත් අනේක වාරයක් පිං අනුමෝදන් කරන්නෙමු, අනුමෝදන් වේවා..!!

එතෙක් කල් පාළි භාෂාවෙන් පමණක් තිබූ ත්‍රිපිටකය, 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්ති උළෙල මූලික කරගෙන සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ බාරදූර කාර්යය අප සැම වෙනුවෙන් සම්පූර්ණ කල මහා සංඝරත්නයටත් ඒ සඳහා උපකාර කල සෑම සියලු දෙනාටත් අනේක වාරයක් පිං අනුමෝදන් කරන්නෙමු, අනුමෝදන් වේවා..!!

බුද්ධ ජයන්ති ග්‍රන්ථ (නව මුද්‍රණය) ඩිජිටල් පිටපත් (scan) බවට පරිවර්තනය කොට PDF මාධ්‍යයෙන් Aathaapi වෙබ්අඩවිය හරහා ලබා දීමට කටයුතු කල පින්වත් මහත්මාට අනේක වාරයක් පිං අනුමෝදන් කරන්නෙමු, අනුමෝදන් වේවා..!!

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාලි සූත්‍ර සහ බුද්ධ ජයන්ති ග්‍රන්ථ (අකුරු වඩා පැහැදිලි පැරණි මුද්‍රණය) ඩිජිටල් පිටපත් (scan) බවට පරිවර්තනය කොට images මාධ්‍යයෙන් tipitaka.lk වෙබ්අඩවිය හරහා ලබා දීමට කටයුතු කල පින්වත් මහත්මාට අනේක වාරයක් පිං අනුමෝදන් කරන්නෙමු, අනුමෝදන් වේවා..!!


ආශීර්වාදය

මෙම ධර්ම දානය හට නන් අයුරින් සහය දුන් ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ්‍රද්ධාවන්ත පින්වතුන් ඇතුළු සියළු දෙනාහටම මේ ජීවිතයේදීම උතුම් වූ නිර්වානාවබෝධය පිණිසම මේ පින හේතු වේවා..!!


අයැදුම

අප විසින් මහත් පරිශ්‍රමයකින් සෝදුපත් බලා සූත්‍ර දේශනා වෙබ්අඩවියට ඇතුළු කළ ද, අපගේ අනවධානයෙන් සාවද්‍ය තැන් ඇති වී තිබිය හැක. එය අරුමයක් නොවන බව නිසැකය. ඒ හෙයින් එබඳු තැන් දක්නා සාසන හිතකාමීන් අපව දැනුවත් කරන මෙන් කාරුණිකව ආයාචනා කරමු.

මෙත් සිතින්,
thripitakaya.org


About Gal Vihara Samadhi Statue (Home page)
Mr. Kyle Hammons, upon our request, kindly gave permission to use this image which was captured by him on the website. May the blessings of Noble Triple Gem be always with him..!!