ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » ඡක්ක නිපාතය » 2. සාරණීය වර්ගය

6.1.2.7. කුසල සූත්‍රය

17. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල්හි පිළිසලනින් නැඟී සිටිසේක් උපස්ථානශාලාව කරා එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි හුන්හ.

ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟී සිටියාහු උවටන්හල කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පස්ව හුන්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකස්සප තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකච්චායන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ ද ... ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ... ආයුෂ්මත් රෙවත තෙරණුවෝ ද ... ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟි සිටියාහු උවටන්හල් කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝකල් නිෂද්‍යායෙන් ගෙවා හුනස්නෙන් නැඟී විහාරයට පිවිස වදාළහ. එ ආයුෂ්මත්හු ද භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝකල් වත්ම හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට වැඩියහ.

එහි පැවිදිවූ නොබෝකල් ඇති මෙ ධර්‍මවිනයට අධුනාගත වූ යම් නවක භික්ෂුහු වූහු නම්, ඔහු සූ‍‍ර්යොද්ගමය තෙක් කස්මින් නිදිගත්හ. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස් ඉක්ම පවත්නා විශුද්ධ වූ දිව්‍ය චක්ෂුසින් සූ‍‍ර්යොද්ගමය තෙක් කස්මින් හෝනා එ මහණුන් දුටු සේක. දැක වදාරා උපස්ථාන ශාලාව වෙත එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ එ මහණුන් අමතා වදාළසේක:

මහණෙනි, සැරියුත්හු කොහි ද? මහමුගලන්හු කොහි ද? මහකසුබුහු කොහි ද? මහකසයින්හු කොහි ද? මහාකොට්ඨිතයෝ කොහි ද? මහාචුන්දයෝ කොහි ද? මහාකප්පිනයෝ කොහි ද? අනුරුද්ධයෝ කොහි ද? රෙවතයෝ කොහි ද? ආනන්දයෝ කොහි ද? මහණෙනි, එ ස්ථවිර ශ්‍රාවක භික්ෂුහු කොහි ගියාහු දැ?යි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩී නොබෝකල් වත්ම එ ආයුෂ්මත්හු ද හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට ගියහයි.

මහණෙනි, කවරහෙයෙකින් “ස්ථවිර භික්ෂුහු ගියහ”යි නවක වන තෙපි කස්මින් සූර්යොද්ගමය තෙක් හෝනහු ද?

මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කිම, මුර්‍ධාභිෂික්ත ක්ෂත්‍රිය රජ කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරණුයේ යව්දිව් රජකරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය, යන තෙල තොප විසින් දක්නා ලද ද? නැතහොත් අසන ලද දැ?යි

වහන්ස, තෙල කරුණ නැත් මැයි.

මහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු ‘මූර්‍ධාභිෂික්ත ක්ෂත්‍රිය රජෙක් කැමැති තාක් යහන් සුවයෙහි පහස්වුවයෙහි නිදිසුවයෙහි යෙදී වෙසෙමින් යව්දිව් රජය කරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය’ යන තෙල නො මැ දක්නා ලදි. නො අසන ලදි.

මහණෙනි, එ කවරැයි හඟිවු ද? කිම, තොප විසින් ‘රැටියෙක් වේව’යි ... පියාසතු දායාද්‍ය ඇතියෙක් වේවයි ... සෙන්පතියෙක් වේවයි ... ග්‍රාම භොජකයෙක් වේවයි ... ගණදෙටුයෙක් වේවයි කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරමින් යව්දිව් පූගනායකත්වය කරන්නේ පූගයහට (ගණයාහට) ප්‍රිය මනාප වේය යන තෙල දක්නා ලද හෝ අසන ලද දැයි?

වහන්ස, තෙල නැත් මැයි.

මහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු (පෙ) පූග ග්‍රාමණිකයෙක් කැමැතිතාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදි සුවයෙහි යෙදී වෙසෙනුයේ යව්දිව් පූගග්‍රාමණිකත්වය හෝ කරන්නේය, පූගයට හෝ ප්‍රිය මනාප වන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.

මහණෙනි, එ කවරැයි හඟිවු ද? තොප විසින් ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, නිද්‍රාසුඛයෙහි යෙදුනේ ඉන්ද්‍රියයන්හි නො පියු දොර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනේ කුශල ධර්‍මයන් නො සොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි (රෑ පෙරයම - පැසුළුයම) බොධිපාක්ෂික ධර්‍මයන්ගේ භාවනානුයොගයෙහි නොයෙදුනේ ආස්‍රවයන්ගේ ක්ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වාස කරන්නේය’යි දක්නා ලද හෝ අසන ලද දැ?යි.

වහන්ස, තෙල කරුණ නැත් මැයි.

මහණෙනි, මැනැවැ, මහණෙනි, මාවිසිනුදු ‘මහණෙක් වේවයි බමුණෙක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, මිද්ධසුඛයෙහි යෙදුනේ ඉන්ද්‍රියයන්හි අගුප්තද්වාර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ ජාගර්‍ය්‍යායෙහි නොයෙදුනේ කුශලධර්‍මයන් නොසොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බෝපැකිදම් වැඩුමෙහි නොයෙදුනේ ආස්‍රවක්ෂයයෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.

මහණෙනි, එකරුණින් මෙහි ලා “ඉන්ද්‍රියයන්හි ගුප්තද්වාර වම්හ, භෝජනයෙහි මාත්‍රඥ වම්හ, ජාගර්‍ය්‍යායෙහි අනුයුක්ත වම්හ, කුශලධර්‍මයන්ගේ විදර්‍ශක වම්හ, පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බොධිපාක්ෂික ධර්‍මයන් වැඩුමෙහි යෙදුනමෝ වසම්හ”යි මෙසේ හික්මිය යුතුයි.

මහණෙනි, මෙ සෙයින් ම තොප විසින් හික්මිය යුතුයි.