තථාගතයන් වහන්සේ සත්ත්‍වයන් පිළිබඳ ආශයඅනුශය දන්නා නුවණ කවරෙ යත්:
මෙහි තථාගත තෙම සත්ත්‍වයන්ගේ ආශය (සන්තානය) දැනැගනී. අනුශය (ථාමගත කාමරාගාදිය) දැනැගනී. චරිතය (පූර්‍වකෘතකර්‍ම) දැනැගනී. අධිමුක්තිය දැනැගනී. භව්‍යාභව්‍යසත්ත්‍වයන් දැනැගනී.
සත්ත්‍වයන්ගේ ආශය කවරෙ යත්: ‘ලොකය ශාශ්වතැ’ යි හෝ ‘ලොකය අශාශ්වතැ’ යි හෝ ‘ලොකය අන්ත ඇත්තේ යැ’යි හෝ ‘ලොකය අන්ත නැත්තේ යැ’යි හෝ ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි හෝ ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තේහි විද්‍යාමාන වේ’ යයි හො ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වන්නේත් නො වන්නේත් වේ’ යයි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තේහි නො මැ වෙයි නො ද නො වේ’යයි හෝ මෙසෙයින් සත්ත්‍වයෝ ශාශ්වතදෘෂ්ටිය ඇසිරි කළාහු හෝ වෙති. උච්ඡේදදෘෂ්ටිය ඇසිරි කළාහු හෝ වෙත්.
මේ උභයාන්තයට ද නො පැමිණ ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි අනුලොමඥානය ලබනලද වෙයි. යථාභූතඥානය හෝ ලබන ලද්දේ වේ.
කාමය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම කාමගරුක යැ කාමාශය ඇත්තේ යැ කාමාධිමුක්ත යැ’යි දැනගනියි. කාමය සෙවුණහු මැ මේ පුද්ගල තෙම නෛෂ්ක්‍රම්‍යගරුක යැ නෛෂ්ක්‍රම්‍යාශය ඇත්තේ යැ නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත යැ’යි දැනගනියි. නෛෂ්ක්‍රම්‍යය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම නෛෂ්ක්‍රම්‍යගරුක යැ නෛෂ්ක්‍රම්‍යාශ ඇත්තේ යැ නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත යැ’යි දැනගනියි. නෛෂ්ක්‍රම්‍යය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම කාම ගරුක යැ කාමාශය ඇත්තේ යැ කාමාධිමුක්ත යැ’යි දැනගනී.
ව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ව්‍යාපාදගරුක යැ ව්‍යාපාදාශය ඇත්තේ යැ ව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. ව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අව්‍යාපාදගරුක යැ අව්‍යාපාදාශ ඇත්තේ යැ අව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. අව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අව්‍යාපාදගරුක යැ අව්‍යාපාදාශය ඇත්තේ යැ අව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. අව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ව්‍යාපාදගරුක යැ ව්‍යාපාදාශය ඇත්තේ යැ ව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනී.
ථීනමිද්ධය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ථීනමිද්ධයගරුක යැ ථීනමිද්ධාසය ඇත්තේ යැ ථීනමිද්ධාධිමුත්ත යැ’යි දැනගනියි. ථීනමිද්ධය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අලොකසංඥාගරුක යැ අලොකසංඥාශය ඇත්තේ යැ අලොකසංඥාධිමුක්ත යැ’යි දැනගනියි. අලොකසංඥාව සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අලොකසංඥාගරුක යැ අලොකසංඥාශය ඇත්තේ යැ අලොකසංඥාධිමුක්ත යැ’යි දැනගනියි. අලොකසංඥාව සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ථීනමිද්ධගරුක යැ ථීනමිද්ධාසය ඇත්තේ යැ ථීනමිද්ධාධිමුත්ත යැ’යි දැනැගනී. මේ සත්ත්‍වයන්ගේ ආශය වේ.
සත්ත්‍වයන්ගේ අනුශය කවරෙ යත්: අනුශයයෝ සත්දෙනෙකි: කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ මානානුශය යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යි.
යමක් ලොකයෙහි ප්‍රියස්වභාව සාතස්වභාව ඇත්තේ ද මෙහි සත්ත්‍වයන්ගේ කාමරාගානුශය ලැගසිටී යමෙක් ලොකයෙහි අප්‍රියස්වභාව අසාතස්වභාව ඇත්තේ ද මෙහි සත්ත්‍වයන්ගේ ප්‍රතිඝානුශය ලැගසිටී. මෙසෙයින් මේ දෙදහම්හි අවිද්‍යාව අනුවගියා ය. ඒ අවිද්‍යාව හා සමග (සහජෙකට්ඨවශයෙන්) එක් වැ සිටි මානය ද දෘෂ්ටි ද විචිකිත්සාව ද දතයුත්තාහ. මේ සත්ත්‍වයන්ගේ අනුශය වේ.
සත්ත්‍වයන්ගේ චරිතය කවරෙ යත්: පරිත්තභූමක වූ හෝ මහාභූමක වූ හෝ පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ සත්ත්‍වයන්ගේ චරිත යි.
සත්ත්‍වයන්ගේ අධිමුක්ති කවර යත්: හීන වූ අධිමුක්ති (අදහස්) ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. ප්‍රණීත වූ අධිමුක්ති ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. හීනාධිමුක්තික සත්ත්‍වයෝ හීනාධිමුක්තික සත්ත්‍වයන් සෙවන - භජන - පර්‍ය්‍යුපාසන කෙරෙති. ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයන් සෙවන භජන පර්‍ය්‍යුපාසන කෙරෙති. අතීතකාලයෙහි දු හීනාධිමුක්තිසත්ත්‍වයෝ හීනාධිමුක්තිසත්ත්‍වයන් සෙවන - භජන - පර්‍ය්‍යුපාසන කළහ. අනාගතකාලයෙහි දු හීනාධිමුක්තිසත්ත්‍වයෝ හීනාධිමුක්තිසත්ත්‍වයන් සෙවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහ. ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයන් සෙවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහු යි. මේ සත්ත්‍වයන්ගේ අධිමුක්ති යි.
අභව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්වාගතයෝ ද ක්ලෙශාවරණයෙන් සමන්වාගතයෝ ද විපාකාවරණයෙන් සමන්වාගතයෝ ද සැදැහැ නැත්තාහු ද කර්තුකම්‍යතාකුශලච්ඡන්‍ද නැත්තාහු ද භවාඞ්ගප්‍රඥා රහිතයෝ ද කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වනියාම සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට බැසැගන්නට අභව්‍යයෝ ද මේ සත්ත්‍වයෝ අභව්‍යයෝ යි.
භව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්වාගත නො වූවාහු ක්ලෙශාවරණයෙන් සමන්වාගත නො වූවාහු විපාකාවරණයෙන් සමන්වාගත නො වූවාහු සැදැහැ ඇත්තාහු කර්තුකම්‍යතාකුශලච්ඡන්‍ද ඇත්තාහු ද භවාඞ්ගප්‍රඥා ඇත්තාහු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වනියාම සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට බැසැගන්නට භව්‍ය වෙත් ද මේ සත්ත්‍වයෝ භව්‍යයෝ යි.
මේ තථාගතයන් වහන්සේගේ සත්ත්‍වයන් පිළිබඳ ආශය අනුශය දන්නා නුවණ යි.
ආශයානුශයඥානනිර්දේශ යි.