මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි පියූ දොර ඇති බව හා භොජනයෙහි පමණ දන්නා බව ද යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි නො පියූදොර ඇති බව හා භොජනයෙහි පමණ නොදන්නා බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: (කරුණා පූර්‍වභාගය වූ) අවිහිංසාව හා (ශීලවශයෙන් පිරිසිදු බව) සුචිභාවය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සඛිල (මොලොක් තෙපුල් ඇති) බව හා පටිසන්‍ථාරය (පිළිසඳර) හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ක්‍ෂාන්තිය (ඉවසීම) හා සුරතබව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.