අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.3.11.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, රාගයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සුභනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙකයි. මහණෙනි, මොහු වනාහි රාගයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

2.3.11.5.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) පහසුවෙන් තර්‍පණය කළ හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් නො කෙරේ ද, යමෙකුත් ලද ලද දෑ වියදම් නො කෙරේ ද යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි තර්‍පණය කළ හැක්කාහු වෙත් ය යි.

2.3.11.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) තෘප්තිමත් කළ නො හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් කෙරේ නම්, යමෙකුත් ලද ලද දෑ වියදම් කෙරේ නම්, යන මොහු දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි තෘප්තිමත් කළ නො හැක්කාහු වෙත් ය යි.

2.3.11.3.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත් : තෘප්ත වූයේ ද, තෘප්තියට පමුණුවන්නේ ද යන දෙදෙන වෙති. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි දුලබ වෙත් ය යි.

2.3.11.2.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පළමු ම උපකාර කරන්නේ වේ ද, යමෙකුත් කෘතඥ වූයේ කෘතවෙදී වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි දුලබ වෙත් ය යි.