මහණෙනි, කරුණු තුණෙකින් කථාව පවත්නී වෙයි. කවර තුණෙකින යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නෙත් වෙයි. යමෙක් දහම් අසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නෙත් වේ. යමෙක් එ දහම් දෙසා නම්, යමෙක් දහම් අසා නම්, යන දෙදෙන ම අටුවා දන්නෝත් පෙළදහම් දන්නෝත් වෙති. මහණෙනි, මේ කරුණු තුණෙන් කථාව පවත්නී වේ යයි.
මහණෙනි, මේ කරුණු තුණක් දක්නහු විසින් පරහට දහම් දෙසුමට නිසි ම වේ. කවර තුණෙක යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් වෙයි. පෙළදහම් දන්නෙත් වෙයි. යමෙක් ධර්‍මය අසා නම්, හෙ අටුවා දන්නේත් පෙළදහම් දන්නෙත් වෙයි. යමෙකුත් දහම් දෙසා නම්, යමෙකුත් දහම් අසා නම්, එ දෙදෙන අටුවා දන්නාහු ද පෙළදහම් දන්නාහු ද වෙත්. මහණෙනි, මේ කරුණු තුණ දක්නහු විසින් පරහට දහම් දෙසනු නිසි මැ යි.
මහණෙනි, මේ කරුණු තුණෙකින් පහන් වූ සැදැහැතියේ දතයුතු වේ. කවර තුණෙකින යත්: සිල්වතුන් දක්නා කැමැතියේ වෙයි, සදහම් අසනු කැමැතියේ වෙයි, වුහුටු ත්‍යාග ඇත්තේ දීමෙහි දෙවි අත් ඇතියේ හැරපීමෙහි ඇලුනේ යදනට නිසිවූයේ දන් හා සංවිභාගයෙහි ඇලුනේ පහ වූ මසුරු මලින් යුත් සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණෙනි, මේ තෙකරුණින් යුක්ත වූයේ පහන් වූ සැදැහැතියේ යි දත යුතුයි. සිල්වතුන් දක්නට කැමැතියේ වේ ද, සදහම් අසන්නට කැමැති වේ ද, මසුරුමල දුරලා වෙසේ ද, හේ ඒකාන්තයෙන් සැදැහැත්තේ ය යි කියනු ලැබේ.
මහණෙනි, තුන් දෙනකුන්ගේ හමුබැවින් සැදැහැවත් කුලපුත් බොහෝ පින් රැස් කරණේය. කවර තිදෙනකුගේය යත්: මහණෙනි, සැදැහැ හමුබැවින් සැදැහැවත් කුලපුත් බොහෝ පින් රැස් කරණේය. මහණෙනි, දෙයධර්‍ම හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය. මහණෙනි, දක්‍ෂිණාර්‍හයන්ගේ හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය. මහණෙනි, මෙ කරුණු තුණ හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය.
මහණෙනි, ආත්මාධිපත්‍යය කවරේය යත් : මහණෙනි, මෙ සස්නෙහි මහණ අරණ්‍යයට ගියේ හෝ වෘක්‍ෂමූලයට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා කරයි : ‘මම චීවරහේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. පිණ්ඩපාත හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. සෙනසුන් හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. මෙසේත් භවය, මෙසේත් භවයයි ඒ ඒ සම්පත්තිභව හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් හා ජරාමරණයෙන් හා ...